Sunday, March 13, 2016


ලංකාවේ ජාතික පුෂ්පය වෙනස් වෙයි




මෙරට ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබේ.
මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින්වූයේ නිල් මානෙල් මලයි.
ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණ බව ය.
විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා කෙරිණ.
නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන් වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද හටගත්හ.
එහිදි පරිසරවේදින් පෙන්වා දුන්නේ ජාතික පුෂ්පය ලෙස නම්කර ඇති නිල් මානෙල් මල වැරදි ලෙස ඡායාරූපයට නගා ඇති බව ය.
ඒ අනුව, නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර ඇති අතර සුදු හා ලා නිල් පැහැයෙන් යුත් පෙති වලින් සමන්විත එම මල වියලි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතින්නකි.
ශ්‍රී ලංකාවට අවේණික මානෙල් මලෙහි රේනු සංඛ්‍යාව ද අඩු බව පත්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ ය.
ඇය පැවසුවේ මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරිම සදහා පුළුල් වැඩ සටහන් සකස් කරන බව ය.


Source.. News Fist

Saturday, March 12, 2016

තුන් බියකින් පෙළෙන 
ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු නිවැසියෝ

නිවසට පොල් අතු වහල සවිකළ අපේ පැරැන්නෝ පසු කලෙක සිංහල උළු සෙවිලි කළහ. ඉන් පසු රට උළු සෙවිලි කරන්නට යොමුවූහ. 1950 වසර ආරම්භයත් සමග ශ්‍රී ලංකාවේ නිවාසවල වහල සෙවිලි කිරීම සඳහා ඇස්‌බැස්‌ටෝස්‌ තහඩු ජනප්‍රිය වන්නට විය. එය උළු සෙවිලි කරන වහලවලට වැයවන මිල ගණන්වලට වඩා අඩු බැවින් ශ්‍රී ලාංකික ජනතාව ඉතා සීඝ්‍ර ලෙස ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු භාවිතයට යොමුවූහ.


ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු නිපදවනු ලබන්නේ සිමෙන්ති 70% ක්‌ ෆයිබර් 7% ක්‌ සහ ජලය 23% ක්‌ යොදා ගෙනය.

ෆයිබර් යනු අප පොදුවේ පවසන ඇස්‌බැස්‌ටෝස්‌ය. මෙම ෆයිබර් කොන්ක්‍රීට්‌ තට්‌ටුවක ඇති යකඩ දැලක්‌ මෙන් ඇස්‌බැස්‌ටෝස්‌ තහඩු අභ්‍යන්තරයේ සිමෙන්ති සමග සම්බන්ධවී පවතී. ඇස්‌බැස්‌ටෝස්‌ තහඩුවේ ශක්‌තිය ර¹ පවතින්නේ මෙම ෆයිබර් සැකිල්ල මතය.

ඇස්‌බැස්‌ටෝස්‌ ෆයිබර් නිපදවන්නේ පොළොවේ ඇති අකාබනික ඛනිජමය සිලිකේට්‌ (sio4 ) විශේෂයකිනි.

මෙම ෆsයිබර් සර්පන්ටයින් (Serpentine) ක්‍රිසෝටයිල් (Chrysotile) හෙවත් සුදු ඇස්‌බැස්‌ටෝස්‌ ලෙසද ඇමිෆිබෝල් (Amphibole) වර්ගයට අයත් ඇමෝස්‌ටයිල් (Amostile ) හෙවත් දුඹුරු ඇස්‌බැස්‌ටෝස්‌ ක්‍රොසිඩොටයිල් (crocido tile) හෙවත් නිල් ඇස්‌බැස්‌ටෝස්‌ ලෙසද වර්ග කිහිපයක්‌ පවතී.


දුඹුරු සහ නිල් ඇස්‌බැස්‌ටෝස්‌හි ඇති ෆයිබර් කෙඳි පෙනහලු හෝ ආමාශයට ඇතුළුවීමෙන් පිළිකා ඇතිවිය හැකි බව හෙලිවූ නිසා 1970 වසරේ සිට එම ඇස්‌බැස්‌ටෝස්‌ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනු ලැබීය.

මෙතැන් පටන් ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු පිළිබඳව මහජනතාව තුළ බියක්‌ ඇතිවන්නට විය. ඇස්‌බැස්‌ටෝස්‌ වහල සහිත නිවාසවල ජීවත්වීමෙන් පිළිකා රෝගයට ගොදුරුවිය හැකි බවට බියකින් ජනතාව පෙළෙන්නට වූහ.

නමුත් තහනම් වූයේ ඇමිෆsබෝල් වර්ගයට අයත් දුඹුරු සහ නිල් ඇස්‌බැස්‌ටෝස්‌ය. සර්පන්ටයින් වර්ගයට අයත් ක්‍රිසෝටයිල් හෙවත් සුදු ඇස්‌බැස්‌ටෝස්‌ තහනම් කර නැත. ජනතාව එය දන්නේ නැත. මේ පිළිබඳ දැනුවත් බවක්‌ද ජනතාව තුළ නොමැත. එනිසා සුදු ඇස්‌බැස්‌ටෝස්‌ මගින් නිපදවන සෙවිලි තහඩු පිළිබඳවද ජනතාව තුළ බියක්‌ හටගෙන තිබේ.

සුදු ඇස්‌බැස්‌ටෝස්‌වල ඇති අනු ස්‌වසනය මගින් පෙණහලු තුළට හෝ මුඛය මගින් ආමාශගත වූ විට ඒවා විනාශ කිරීමට ශරීරයේ ඇති ආම්ලික සහ භාෂ්මික තරලයට හැකිවන බව වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ කර තිබේ. එනිසා සුදු ඇස්‌බැස්‌ටෝස්‌ මගින් පිළිකා අවදානමක්‌ ඇතැයි කියා තවම නිශ්චිතව තහවුරු වී නැත.

2010 වසරේදී පැවැති රොටර්ඩම් (Rotterdam) සම්මුතියේදි සුදු ඇස්‌බැස්‌ටෝස්‌ හෙවත් ක්‍රිසෝටයිල් ෆයිබර් අන්තරාදායක ද්‍රව්‍ය කාණ්‌ඩයට යටත් කිරීමට යුරෝපා සංගමය ගෙන ආ යෝජනාව ප්‍රතික්‌ෂේප විය.

සුදු ඇස්‌බැස්‌ටෝස්‌ මහා පරිමාණයෙන් නිපදවනා සහ භාවිතා කරන ඉන්දියාවේද සුදු ඇස්‌බැස්‌ටෝස්‌ තහනම් කිරීමට පරිසර සංවිධාන විසින් ගෙන ආ යෝනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදී.

නමුත් ශ්‍රී ලංකාවේ මෑතක සිට ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු සම්බන්ධව මහත් ආන්දෝලනයක්‌ පවතී. ඊට හේතු වී ඇත්තේ 2018 වසරේ සිට ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු භාවිතය තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කිරීමය. නමුත් එසේ තහනම් කරන්නේ සුදු ඇස්‌බැස්‌ටෝස්‌ද යන්න පැහැදිලි නැත. දුඹුරු සහ නිල් ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු නිපදවීම මේ වනවිට ජාත්‍යන්තරව තහනම් කර ඇත.

සාමාන්‍ය ජනතාව තුළ සුදු ඇස්‌බැස්‌ටෝස්‌, දුඹුරු ඇස්‌බැස්‌ටෝස්‌ හෝ නිල් ඇස්‌බැස්‌ටෝස්‌ කියා දැනුවත් බවක්‌ නැති නිසා ඔවුන් දන්නේ ඇස්‌බැස්‌ටෝස්‌ යන පොදු නාමය පමණි. එනිසා සුදුසු ඇස්‌බැස්‌ටෝස්‌ යොදා නිපදවූ සෙවිලි තහඩු යෙදූ වහල සහිත නිවාසවල ජීවත්වන ජනතාවද මේ වනවිට පසුවන්නේ පිළිකා බියකිනි එම බිය අනියත බියක්‌ද සැබෑ බියක්‌ද, දේශපාලන බියක්‌ද යන තුන් බිය පිළිබඳව ජනතාව දැනුවත්කර එම බිය දුරු කිරීම වගකිවයුත්තන් සතු යතුකමක්‌ සහ වගකීමකි.

එසේ නොවුණහොත් ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු සහිත නිවාසවල ජීවත්වන්නන් මිය යන්නේ පිළිකා නිසා නොව, හෘදයාබාධවලට ගොදුරුවීමෙනි.

උපාලි ද සේරම්(ඉරිදා දිවයින)

වැලිකන්ද නාමල් ගම ප්‍රදේශයේ වගා ලිදකට වැටුණු අලියා





වැලිකන්ද නාමල් ගම ප්‍රදේශයේ වගා ලිදකට වැටි වන අලියෙකු අද 12 දා පස්වරුවේ එම වගා ළිදෙන් ගොඩ ගනු ලැබීය.
ඊයේ 11 දා රාත්‍රියේදී වන අලියා අඩි 12 ක් පමණ ගැබුරු ලිදට වැටි සිටියදී සෝයා ගත් බව වනජීවී නිලධරීන් පැවසීය.
උස අඩි 12 ක් පමණ වන මෙම වන අලියා බැකෝ යන්ත්‍රයක් අධ්රයෙන් ගොඩට ගත් අතර පසුව වැලිකන්ද රක්ෂිතයට පලවා හැරිණි. අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ වන බව වන ජීවී නිලධරීන් සදහන් කළේය.
-සටහන රොෂාන් තුෂාර

Friday, March 11, 2016

Tuesday, June 30, 2015

ඇසළ පොහොය දිනය


ඇසළ පොහොය දිනයේ වැදගත්කම




සෑම බෞද්ධයකු ම දන්නා පරිදි අප බෝසතාණෝ මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්නා ලද්දේ ද ඇසළ පොහෝ දින දී ය. සය වසක් දුෂ්කර ක්‍රියා කොට, වෙසක් පුර පසළොස්වක පෝ දින බුද්ධත්වය අවබෝධ කරගත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම, ධර්ම දේශනාව සිදු වූයේ ද ඇසළ පොහෝ දිනයේම ය.

මෙවර ඇසළ පොහොය ජූලි මස 01 වන දිනට යෙදී ඇත. සෑම වර්ෂයකම ඇසළ මාසයේ මෙරට යම් යම් විහාර හා දේවාලවල පවත්වනු ලබන චිරාගත සම්ප්‍රදායික උත්සව ‘ඇසළ උත්සව‘ ලෙස හැඳින්වෙයි.
ඉන්දියාවේ මෙන්ම අප රටෙහි ද ස්වභාව ධර්මයා මඟින් ඇසළ සමය තුළ සශ්‍රීක භාවය ලබාදීම නිමිති කරගෙන ඇසළ උත්සව පැවැත් වූ බව, පැරැණි පත පොතෙහි සඳහන් වෙයි.
සිද්ධීන්ගෙන් බහුල ඇසළ මාසය, බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වෙයි.
වෙසක් පොහෝ දින, අප තිලෝගුරු බුදුපියාණන් ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල් කරුණු සම්බන්ධයෙන් ද, පොසොන් පෝ දින දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට ගෙන ඒම සම්බන්ධයෙන් ද බෞද්ධ ජනතාවට කොතරම් වැදගත්වේද, ඒ හා සමාන වැදගත්කමක් ඇසළ පොහෝ දිනට ද ලැබී ඇත.
බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඇසළ පෝ දිනය සම්බන්ධ වීම නිසා, එය බෞද්ධ ඉතිහාසයෙහි උසස් තැනෙකලා සැලකිය හැකි ය. සද්ධර්ම රත්නාවලිය පොතෙහි කර්තෘ ධර්මසේන හිමියන්, එහි දැක්වූ අගසව් කථාවෙන් පෙන්වා දුන් පරිදි, ‘ගිරග්ග සමජ්ජ’ නම් සැණකෙළිය ද, වීදාගම මා හිමියන් විසින් ගුත්තිල කාව්‍යයෙහි දක්වා ඇති මෙවැනිම වූ උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යමින් තිබූ සැණකෙළිය ද , සැණකෙළි පැවැත්වීම, පෙර සිටම පැවත එන්නක් බවට සාක්‍ෂි ය. මේවා ඇසළ උත්සව යැයි නිශ්චික ලෙස සඳහන් නොව වූවද , බුදු දහමේ උපතටත් පෙර සිටම එවැනි උත්සව පැවැති බව සිතා ගත හැකි ය.
සෑම බෞද්ධයකු ම දන්නා පරිදි අප බෝසතාණෝ මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්නා ලද්දේ ද ඇසළ පොහෝ දින දී ය. නෙළුම් මලක් හොඬින් ගත් සුදු ඇත් පැටවකු තම යහන වටේ තෙවරක් පැදකුණු කොට වම් ඇකයෙන් තම කුස තුළට පිවිසෙනු, මහාමායා දේවිය සිහිනෙන් දුටුවා ය. 
බුද්ධ චරිතය ඇසළ මාසය හා සම්බන්ධ වූ මුල්ම අවස්ථාව මෙයයි. දේවිය දුටු එම සිහිනයේ ගුණ දොස් විචාළ විට, උගත් බමුණන් කීවේ, අති උත්තම දරු උපතක් පිළිබඳව යි.
එම දරු උපත මුළු ලොවටම සිදු කළේ උතුම් මංගලයකි. ඇසළ පොහොය නැවත වරක් සම්බන්ධ වන්නේ, එකම දිනයක දී වැදගත් වූ සිද්ධි දෙකක් සිදුවීමේ හේතුවෙනි. 

සිදුහත් කුමරු සියලු යසඉසුරු සම්පත් හැර ගිහි ගෙය කෙරෙහි කලකිරී, මහබිනික්මන් කිරීම හා තම ආදරණීය බිරිය යසෝධරා දේවිය රාහුල කුමරු ලොවට දායාද කිරීම යන මංගල කාරණා ඒ වැදගත් සිද්ධි දෙකයි.සුද්ධෝදන රජතුමා තම පුතු ගිහි ගෙහි රඳවාගෙන සක්විති රජකම ලබාදීම පිණිස ගත් සියලු තැත ද ව්‍යවර්ථ වී ගිය අතර, මහබිනික්මන් ගමනට බාධා කළ වසවත් මරු කීවේ,
මා නික්බම මහාවීර
ඉතෝ තේ සත්තමෙ දිනෙ
දිබ්බන්තු චක්ක රතනං
අද්ධා පාතු භවිස්සති
මහා වීරය; නො යනු මැනවි. අදින් සත්වන දවස, ඒකාන්තයෙන් ම ඔබට සක්විති රජකම ලැබෙන්නේ ය, යනුවෙනි. තමා අතැ තිබූ සක්විති රජකම අලුයම හෙළූ කෙළ පිඩක් සේ ඉවත ලා, ඒ ගැන අල්ප මාත්‍රයක තැකීමක් පවා නොකොට, දෘඪතර අධිෂ්ඨානයෙන් යුතුව ඇසළ පෝ දින ගිය එම ගමනින්, තුන් ලොවටම සිදුවූයේ මහා මංගල්‍යයකි.
ඇසළ පොහොය ඉතා ශ්‍රේෂ්ඨත්වයෙහි ලා සැලකිය හැකි තව සිදුවීමක් බෞද්ධ ඉතිහාසයෙහි දී පෙනෙයි. සය වසක් දුෂ්කර ක්‍රියා කොට, වෙසක් පුර පසළොස්වක පෝ දින බුද්ධත්වය අවබෝධ කරගත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම, ධර්ම දේශනාව සිදු වූයේ ද ඇසළ පොහෝ දිනයේම ය.
බව සසරින් ගොඩ ඒමේ මාර්ගය සොයමින් ගිය සිදුහත් තවුසන්ට ප්‍රථමයෙන්ම හමුවූ ආළාර කළාම, හා උද්දකාරාම යන තවුසන්ට පිහිටවීමට ඔවුන් සොයා බැලූ නමුත් ඔවුන් ඊට පෙර දින මිය ගොස් ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ, තමන්ට ඇප උපස්ථාන කළ පස්වග මහණුන් සොයා ගොස් ඉසිපතන මිගදායේ දී දෙවි බඹුන් සහිත මුළු ලෝ සතුන් වෙත පතල මහා කරුණාවෙන් ඔවුන්ගේ ධම්ම චක්ඛුසය පහළ කරවනු පිණිස අත්තකිලමථානු යෝගය හා කාම සුඛල්ලිකානු යෝගය යන අන්ත දෙක පැවිද්දකු විසින් නො සෙවිය යුතු බවත්, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීම සසරින් ගැලවීමට ඇති එකම මාර්ගය බවත්, දේශනා කරමින් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට වදාළේ, ලෝ වැසියන් තුළ පැවැති මෝහාන්ධකාරය දුරු කරමිනි.
බුද්ධත්වයෙන් පසු පළමු වස් විසීම සිදු වූයේ ද ඇසළ පුන් පෝ දිනයේ දී ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවක පිරිස හා සැදැහැවත් ජනයා විසින් පවත්වන ලද පුද පූජා, ගරු සත්කාර හා සම්මාන ආදියෙහි ඊර්ෂ්‍යා පරවශව එවැනි වැඳුම් පිදුම් තමනුදු ලබනු රිසිව, සෘද්ධි බල හා ශීල ගුණයෙන් තමන් ද යුක්ත බවත්, තමන්ට ද ඕනෑම විටෙක සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමට හැකි යැයි පතළ කළ තීර්ථකයන්ගේ මානය බිඳ හෙළනු වස්, සැවැත් නුවර ගණ්ඩබ්භ නම් අඹ රුක මුල දී, යමා මහා පෙළහර පා වදාළේ ද ඇසළ පෝ දිනයේ දීම ය.
තම උපතින් සත්වන දවස මරණයට පත්වැ තව්තිසා දිව්‍යලෝකයෙහි උපන් තම මෑණියන් ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කළේ ද, අද වැනි ඇසළ පොහෝ දිනකදී ය.
බොදු ජනතාවගේ පමණක් නොව අන්‍ය ආගමිකයන්ගේ ඉමහත් සම්මානයට බඳුන් වූ අසමසම බෞද්ධ පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවූයේ ද ඇසළ පොහෝ දිනදීම ය.
අභයගිරි විහාරිකයන් සම්බන්ධ කරගෙන වසරක් පාසා ඇසළ පෝ දින දළදා සමිඳුන්ට පුද පූජා හා සත්කාර කරන ලෙස ධාතුසේන රජතුමා විසින් රට පුරා අණ බෙර යැවූ බව, චීන දේශාටකයකු වූ පාහියන් හිමියෝ පවසති. මෙම පුද සැලකිලි ක්‍රමිකව දියුණුවීමෙන් අනතුරුව මෙම උත්සව වලට පෙරහර එක් වී කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ජාතික උත්සවයක් බවට මෙය පරිවර්තනය විය.
ගජබා රජ සොලී දේශයට ගොස් එහි දී ලද විජයග්‍රහණය සිහි කිරීමත්, ඒ එන ගමනේ දී ගෙන ආ පත්තිනි සළඹ පිදීමත් මෙම ඇසළ පෙරහරේ පරමාර්ථය වී යැයි, නුවර යුගයේ ලියැවුණු ‘සංඝරාජ වත’ නම් පොතෙහි සඳහන් වෙයි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු, සුභද්‍රා නම් වූ අභද්‍ර මහණකුගේ දුසිල්වත් කතා නිසා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් රජගහ නුවර දී පළමු ධර්ම සංගායනාව කරවන ලද්දේ ද ඇසළ පොහෝ දිනයේදීම ය. බෞද්ධ පුනරුදය සසුනේ චිරස්ථිතිය සඳහා ඇප කැප වී අනූපමේය සේවයක් කළ දුටුගැමුණු නරපතීන් විසින් මහත් පරිශ්‍රමයකින් අහස් කුස නංවන ලද රුවන්වැලි මහා සෑ රජුන්ගේ මුල් ගල පිහිටවූයේ ද, අද වැනි පොහෝ දිනයකදී ය.
ඇසළ පෝ දින වටා සම්බන්ධව කාලයාගේ ඇවෑමෙන් මැකී ගිය තවත්, සිදුවීම් කොපමණ ඇති දැයි නිගමනය කිරීම ලෙහෙසි කරුණක් නොවනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ හිටපු 
අතිරේක ලේකම් 
එම්.මුනිදාස මැන්දිස්
-උපුටා ගැනීමකි

Thursday, June 18, 2015

රට පුරා ඇස් ලෙඩ පැතිරේ.



දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල ඇස් රෝගයක් පැතිරෙමින් පවතින බව කොළඹ ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි.
අක්ෂිපටල ප්‍රදාහය (Conjunctivitis – pink eye ) යනුවෙන් හඳුන්වන ‍මෙම ඇස් රෝගය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා හට ගනු ලබන අතර දින තුනක් හෝ හතරක් වැනි කෙටි කාලයක් පවතී.
ඇස්වල වේදනාව, කබ සහ කදුළු ගැලීම, ඇස් රතු පැහැවීම සහ උදය කාලයේ ඇස් කබවලින් බැදී තිබීම මෙන්ම මද වශයෙන් පවතින හිසරදය මෙහි රෝග ලක්ෂණ වෙති.
දිනකට මෙවැනි රෝගීන් 100 ක් පමණ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික අක්ෂි රෝහලට පැමිණෙති. සාමාන්‍යයෙන්සෑම වසරකම මැයි, ජුනි හා ජූලි යන මාසවල මෙවැනි ඇස් රෝගයක් දිවයින පුරා වාර්තා වී ඇත.
මෙම අක්ෂි රෝගය වළක්වා ගැනීම සඳහා බස් රථ, දුම්රිය හෝ එවැනි පොදු වාහනවල ගමන් කරන විට හැකි තරම් ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම, මිනිසුන් ගැවසෙන ස්ථානයක සිට නිවසට ගිය පසු විෂබීජ නාශකයක් යොදා මුහුණ සහ අත් හොදින් පිරිසිදු කර ගැනීම කළ යුතයි. එමෙන්ම අනෙක් අයගේ තුවා, ලේන්සු හා ඇදුම් භාවිත නොකළ යුතුය. ඇස්වල වේදනාවක් පවතී නම් ප්‍රතිකාර සදහා පළපුරුදු අක්ෂි වෛද්‍යවරයෙක් වෙත හෝ රජයේ රෝහලක අක්ෂි වෛද්‍ය ඒකකයක් වෙත යොමු විය යුතුය. නමුත් මෙම රෝගය සාමාන්‍ය රෝගයක් වන අතර එමගින් වෙනත් සංකූලතා ඇතිවීමේ අවධානමක් නැත.
කෙසේ වුවද මෙම රෝගය වළක්වා ගත හැකි රෝගයක් බැවින් වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස ජාතික අක්ෂි රෝහල මහජනතාවගෙන් ඉල්ලා සිටී.
– news.lk

Thursday, June 4, 2015

Windows 10 Available on July 29
වින්ඩෝස් 10 එයි


මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති අතර නවතම සංස්කරණය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ජුලි 29 නිකුත් කිරීමට කටයුතු කරන බව  මයික්‍රොසොෆ්ට් නිල බ්ලොග් අඩවිය වාර්තා කරනවා.මෙම නිවේදනය කටකතාවක් ලෙස පැතිර ගියත් එය සත්‍ය පුවතක් බව මයික්‍රොසොෆ්ට් සමාගම
පසුගිය 01 වැනිදා ප්‍රකාශ කලා.

දැනට භාවිත වන වින්ඩෝස් 7/ 8 වල භාවිතාවන අංග වලට අමතරව අලුතෙන් එක්කර ඇති අංග පිළිබදව විස්තර ඇතුලත් විදියෝවක්ද නිකුත් කර ඇත.එය පහතින් බලන්න. 


ලොව පුරා රටවල් 190 ක් වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 7 භාවිතාකරන පාරිභෝගිකයින් සදහා වින්ඩෝස් 10 වලට නොමිලේ මාරු වීමට ද වසරක කාලයක් සදහා active නොකර නොමිලේ භාවිත කිරීමට ද අවස්ථාව හිමිවේ.මේ වනවිට වින්ඩෝස් 10 නවතම සංස්කරණයේ ඇති ගැටළු නිරාකරණය කරගැනිම සදහා වින්ඩෝස් 10 technical preview ලෙස පරිශීලකයින් වෙත ලබාදී තිබෙනවා.